සක් පිඹිනා වසන්තේ කොහෝ නදයි දසන්තේ
හෙළ අවුරුද්දේ යුග යුග එකසේ
මහසම්මත රජුන් දවස හෙළ සිරිතකි බොලන්නේ
නැකතින් නව ලොවක් තනන පොරණෙන් බැඳි රටක්නේ
වඩිනා හිරු දෙවි වන් පුතුන් සිංහළේ
පුදනා සඳවති වන් දූන් තුන් හෙළේ
මෙර පරදා බඳින්නේ කොණ්ඩ නොවෙද අතම්මේ
කුරු අඩියේ තියෙන්නේ කුණ්ඩ ගුඩපු බිකුණ්ඬේ
කුරුකුලයේ පහන් තබාලා අසුර ධජේ සැවුලට කියලා
නාගවල්ලි පුවඟු හපාලා උදා ඔන්න නැකත් ලබාලා
වාහ පුරෙන් මිණිගෙඩි සොලවා කරත්තයක් නෑගම් එනවා
මාර ගිරෙන් බමරද පනවා අංකෙලියට පාලග යනවා
පරණ තරහ මරහ නොමැති- සැමට එකම ලෙසට හිතැති
කිරිද පැණිද දසත ඉතිරි- නැකත රැගෙන සුරිඳු වඩිති
වෑ කන්දේ පිපෙන්නේ චිත්ර පලොල් කොහක්කේ
ඒ සද්දේ ඇහෙන්නේ රබන් සුරල් පෙළක්නේ
ගදඹකුලේ වේලූව වයලා රක්ඛ රකෝ කඩුවට මතුරා
සක්ක සකෝ ඔන්චිලි පැදලා යක්ඛ යකෝ චක්ගුඩු ගුඩුවා
අනල දෙසේ පොල්ගෙඩි මතුරා පොරපොල් සටනක් ඇරඹෙනවා
රාජ පෙලෙන් මනුදම් පතුරා දෙසීය විස්සක් වැජඹෙනවා