සුමන සමන් දෙව් පුදගීතය

ශතානාශතා පොරණේ අශ්වින රුවින් වූ
දෙපා වැඳ ගයන්නම් කරුණාව කරුණාවේ
සුමන…… රජින්දේ සමන……. සුරින්දේ
මහා ගුණ කඳක් වේ කරුණාව කරුණාවේ

ගරුඬා පිටින් පෙරදා හිමවත් රජින්දා
උදාගිර විමානේ කරුණාව කරුණාවේ
සමනාගිරෙන් ලෝ දිවාකර රඟන්නේ
දනෝ මුව ගැයෙන්නේ කරුණාව කරුණාවේ

කුරූවිට එරත්නේ දී අවසර යදින්නේ
හෙළේ ඇරඹුමයි මේ කරුණාව කරුණාවේ
සිරීපාදෙ නළලත තබනා අරමුණෙ තොසින්නේ
සුරින්දේ සමන් සුරිඳේ කරුණාව කරුණාවේ

මහා වැසි අනෝරා අවාරේ හැලෙන්නේ
වනතුල ඇසෙන්නේ කරුණාව කරුණාවේ
වනේ සත් පවා එකලා සිරිපා වඳින්නේ
සුළං රල පවා ගයනා කරුණාව කරුණාවේ

අහාසේ දිලී නිවෙනා තරුමල් අසන්නේ
හෙලේ පෙර විසූ රජිඳා කරුණාව කරුණාවේ
ගඟුලේ ඇදී ගලනා දියවැල් ගයන්නේ
දැයේ ගුණවතා සුදනා කරුණාව කරුණාවේ

එමාලොකු තොටේදී යනමං කියන්නේ
බලාපන් මගේ සොයුරා කරුණාව කරුණාවේ
සුදෝවුන් රජුන් පෙරදා අබිමන් පුරන්නේ
පුතුටත් ලබාදුන්දේ කරුණාව කරුණාවේ

සොරගිරි පුරේ විකුමන් අලූතින් ගයන්නේ
ඒ පුර බලේ බැඳෙනා කරුණාව කරුණාවේ
එකටම උපන්නා එක බණ අසන්නා
සබරා පෙලේ බැඳෙනා කරුණාව කරුණාවේ

සැඳැවේ නැබේදී කිරලෙකු හඬන්නේ
රැකවල සොයන්නේ කරුණාව කරුණාවේ
මුලාවූ දනෝ සිරිපා වඳිමින් සොයන්නේ
සසරේ නිමා පෙනෙනා කරුණාව කරුණාවේ

පුණ්‍යා සුපුණ්‍යා පුනපුන පුරන්නේ
සොබාදම පවා පුරනා කරුණාව කරුණාවේ
කන්නේ දෙකන්නේදී මසුරන් නෙලන්නේ
සකල ලෝ දනා උදෙසා කරුණාව කරුණාවේ

මාලින සුමාලින්නා මල්වන පුරේදී
මහා යුධ පවා නිවනා කරුණාව කරුණාවේ
කඩු අවි අමෝරා සටනට නොඑන්නේ
උදාගිරි පිණී සිඳලූ කරුණාව කරුණාවේ

ආ හා නැබේ උදයේ දිනපති ර`ගන්නේ
කෝ මා පුතුන් සොයනා කරුණාව කරුණාවේ
සමනා මලින්නේ සුවඳය දැනෙන්නේ
ඒ මා රජින්දා කරුණාව කරුණාවේ

අතපසු වෙදෝ අනෙකා සිරිපා සමේදී
හමුවේ ඔබේ ගුණපා කරුණාව කරුණාවේ
“ගමනා” ගමේදී ගම්මුන් අසන්නේ
දුටුවා නොවේදෝ කරුණාව කරුණාවේ

දවුලෙන් වැයෙන්නේ දිග්ගේ රඟන්නේ
පුරාණේ පටන් ඇසෙනා කරුණාව කරුණාවේ
උමගින් ඇදෙන්නේ සුරිඳුන් රකින්නේ
සදා අප බැඳීමයි කරුණාව කරුණාවේ

දමරජ අසන්නේ චිත්තල ගිරේදී
බලාපන් සමනොලාවේ කරුණාව කරුණාවේ
පුල්වන කියන්නේ බතිකය අපේ ඒ
අපටත් වඩා ඔහුගේ කරුණාව කරුණාවේ

දුම්බර තොටේදී මව්ගුණ ගැයෙන්නේ
ඇය සිත් නිවාලූ කරුණාව කරුණාවේ
අතරාගිරේදී පියගුණ වැයෙන්නේ
ඔහුටත් වඩා වැඩිවූ කරුණාව කරුණාවේ

පුණ්ණාබදෝ නමලා පුණ හථ ගැටෙන්නේ
රකුනේ අසාපන් කරුණාව කරුණාවේ
ධරණී බිසෝගේ වදනින් කියන්නේ
ඒ මුණුපුරා සඳකී කරුණාව කරුණාවේ

විඩාවක් නොවන්නා විරාමය පලක්නෑ
උල්පත ගැලූ සේ කරුණාව කරුණාවේ
නාසෙට දැනෙන්නේ සමනොළෙ හමන්නේ
ඒ ගුණ සුගන්දේ කරුණාව කරුණාවේ

අරා දෙව් යහන් සුවසේ විමානයෙ වසන්නේ
සිතින් නිව නිවා දන ගිනි කරුණාව කරුණාවේ
පුරාසඳ ඔබයි ගුවනේ විරාජව වසන්නේ
බැතින් නමදිමී දෙවිඳේ කරුණාව කරුණාවේ