ගිරිකුළින් මතුවී

ගිරිකුළින් මතුවී වනමලින් සැරසී දියඇලිත් නිල් වරළ සලනා
සියොතුන්ගෙ හඬ හා රැහැයි අත්වැල දී නිල් අහස යට විමන මැවෙනා
හෝ හැඩැති කොමලී සූ සැටක් භරණී දිගු නයන වලා සලු අයැදී
මන්දාර පුරිසා සිත් නොරිදු සැමියා ඇගෙ බහට වලා ගති පටලා

නබ කුවිනි චන්දා තරුමාල බන්දා තුරු වියනෙ ශල්ව මුතු ඇහිඳී
කඩුපුල්ද පිබිදී සුවඳ ලති දන්දී සුළඟ ඇදෙමින් යතී පින් දී
වෑ කන්දෙ තුරු මී දැහැන්ගත වේවී මකුලු සන්නාලියන් වියතී
ගම්බාර පහනේ එළිය ගැමි මිදුලේ නිදන දන රැකවරණ සැලසී

පින්සාර උදයේ ඝණ්ටාව හඬදේ තේවාව මුරුතැනද පුදදේ
කිරිවදින ගොයමේ රන් සලූව වැතිරේ රිවිකිරණ නව පනක් පුරනා
අරලු බුලු වනයේ බමර නද තරඟේ ලෙන් බිමේ මුනිවරුන් සරනා
වැව් දෑලෙ පදුමේ යාය නොවැ පුදුමේ නෙලන්නට ලඳුන් යති ඔරුවේ

යුග ගනන් ගෙවුනේ මේ සොඳුරු දෙරණේ සොබාදම රැකි හෙළයො අතිනේ
හිත් සොයන එඩිපෑ විරු කතා නිම නෑ පරපුරෙන් පරපුරට ලියැවේ
අද සවස ආයේ වනස්පති සෙවනේ එනවාද සකිය සැම එකසේ
අසමු අට විසිවූ අප සැමට රිසිවූ අපේ මීමුතුන් ගුණ පොරණේ